Published
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මේ වන විට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා.
ඒ අනුව මේ මස 23 වනදා පෙරවරු 10.00 ට බන්ධනාගාරය තුළදී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අල්ලස් කොමිසමට නියම කළා..
අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළා.
ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතාට නීතිඥ සහාය ලබා ගැනීමට හැකි බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියා
නීති විරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීම සිද්ධියකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරනු ලබනවා.
මෙම සිද්ධියට අදාළව රුපියල් ලක්ෂ 50 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොහොමඩ් සෆ්රාස් නැමති ව්‍යාපාරිකයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.



