රුපියල් දෙකෝටි හැත්තෑ හය ලක්ෂ විසි දහසක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙනආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරු එම කුෂ් මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර යාමට උත්සාහ දැරීමේදී අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට දිවයිනට පැමිණි වයස අවුරුදු 27 ක් වූ ඉන්දීය ජාතිකයෙක්.

ඔහු රැගෙන ආ ගමන් මළු දෙකක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 762 ක ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. ඔහු ඩුබායි සිට දිවයිනට පැමිණ තිබෙනවා.

එම ව්‍යාපාරිකයා රැගෙනආ ගමන් මලු 02 ක් තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 34,000 ක් සෙයාගත් බවයි පොලීසිය පැවසුවේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් එක් ලක්ෂයක් පමණ වනවා.

මේ අතර එනසාල් හා විදේශීය මත්පැන් බෝතල් තොගයක් නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ විදේශිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරුවන් සන්තකයේ තිබී එනසාල් කිලෝග්‍රෑම් 60 ක් සහ විදේශීය මත්පැන් බෝතල් 41 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක්. ඔවුන් වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් වෙත භාරදෙන බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර විවිධ මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධීව දුම්වැටි දිවයිනට රැගෙන සැකකරුවන් කිහිප දෙනෙකු පසුගිය දිනවලදීද පොලිස් හා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබුවා.