දෙහිවල ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන ලැරී නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස, ගුණවර්ධන පාර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

ඒ අනුව සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නවය උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ඔ-56 අවි සඳහා භාවිතා කරන මැගසිනයක්, තවත් පිස්තෝල ගිනි අවි කොටස් හා ඔ-56 ජීව උණ්ඩ 30 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු, සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින අසංක චානක ෆොන්සේකා නොහොත් “බඩෝවිට අසංක” නමැති අපරාධකරුගේ අනුගාමිකයෙකු වන කවිඳු ධනංජය නොහොත් “සැන්ඩෝ ” නමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සැන්ඩෝ නමැත්තාගේ උපදෙස් පරිදි මෙම ගිනි අවිය, තවත් ගිනි අවි කොටස් හා ජීව උණ්ඩ සිය සන්තකයේ තබාගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.