ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06 ක් මේ වන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ රෝග කාණ්ඩ වලට යන වියදම දෙස බැලූ විට පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා රජයට විශාල මුදලක් වැය කිරිමට සිදුව ඇති බවයි.
ඊට හේතුව ලෙස නව පිළිකා රෝගීන් 100ක් වැනි ප්‍රමාණයක් දෛනිකව වාර්තා වීමත්, වාර්තාවන රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමත් පෙන්වා දිය හැකි බව ද ඔහු පැවසුවා.
පිළිකා කලින් හඳුනා ගැනීමේ නව මධ්‍යස්ථානයක් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැගිල්ලේ පළමු මහලේ දී ඊයේ සිට අලුතින් ස්ථාපිත කෙරුණා.
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රධාන වශයෙන්ම පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ මුඛ පිළිකා හදුනා ගැනීම සිදුකරනු ලබනවා.
මෙහි දී හදුනා ගන්නා ලබන පුද්ගලයින් කඩිනම් ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා විශේෂඥ වෛද්‍ය සායනවලට යොමු කිරීම සිදුවනවා.
2004 වර්ෂයේ දී මෙම මධ්‍යස්ථානය නාරාහේන්පිට ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර ගෙවී ගිය වසර 22 කාළය තුලදී ලක්ෂයකට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක්කර අවශ්‍ය පුද්ගලයන් ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා යොමුකර තිබෙනවා.
පසුගිය වර්ෂයේ දී පමණක් මෙම මධ්‍යස්ථානය මගින් නව පිළිකා රෝගීන් 104 ක් හදුනාගෙන ඉදිරි ප්‍රතිකාර සදහා යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අති නවීන වෛද්‍ය උපකරණ පහසුකම්වලින් මෙම පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා විවෘතව පවතිනවා.




