අල්ලස් ගැනීමේ චෝදනා මත සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරීවරයෙවකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කළ කාන්තා පොලිස් සැරයන්වරයෙක්.
නුවරඑළිය සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාල තුළදී සැකකාර නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.
වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකගෙන් ජංගම දුරකතනයක් ඇතුළු ද්‍රව්‍ය හා රුපියල් 72,000ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
අදාළ පොලිස් කොස්තාපල්වරයාට නිවසේ සිට රාජකාරියට පැමිණීම සඳහා මඩකලපුව පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අවසරය ලබා ගැනීමට අදාළ කටයුතු සිදු කර දීම සඳහා සැකකාර නිලධාරීන් දෙදෙනා එම අල්ලස ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය සහ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




