ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද දිනයේ දානය වැළඳීම ප්‍රතික්ෂේප කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාරය මගින් සපයන උදෑසන සහ දහවල් ආහාර වේල් දෙක උන්වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.

ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයේ ඉදිකිරීමක් සම්බන්ධ සිද්ධියකට අදාලව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් පුද්ගලයින් පස් දෙනෙකු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඊයේ දිනයේදීයි.

ඉන් අනතුරුව එම පිරිස ඊයේ ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත රැගෙන ගියා.

එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සෙසු ස්වාමීන් වහන්සේලා සහ අනෙක් සැකකරුවන් බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.