මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලසුම් ක්‍රිියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

අදාළ අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකයට එල්ලවිය හැකි බලපෑම් අවම කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය සහ කැපවීම අවශ්‍ය බවත්, එහිදී යම් පිරිසකට සහනාධාර ක්‍රම මගින් පහසුකම් සැපයීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.