බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය පවසනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමග වෙළද අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී එම සංගමය මේ බව පවසා තිබෙනවා.

මැද පෙරදිග කලාපීය යුධ ගැටුම් හමුවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය තුළ බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයට ඇති කර තිබෙන බලපෑම් සහ එය කළමනාකරණයට එම කර්මාන්තකරුවන් ගන්නා තීරණ පාරිභෝගිකයාට බලපාන ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

කුමන ගැටළු මතුවුවද අලුත් අවුරුද්ද අවසන් වනතෙක් සිය නිෂ්පාදනවල මිල වැඩි කිරීමක් සිදු නොකරන බව එහිදී අදහස් දැක්වූ ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා පැවසුවා.

“අපි ස්තුතිවන්ත වෙනවා අපේ මේ කර්මාන්තය ගැන අවධානය යොමු කිරීම පිළිබඳව. ඇත්තටම අපි මේ රස කැවිලි හිමියන්ගේ සංගමය කිව්වට බිස්කට් විතරක් නෙවෙයි, අයිස් ක්‍රීම්, චොක්ලට් මේ සියලු‍ දෙනාම අපේ සාමාජිකයෝ. පනස් දහසක පමණ සේවක සංඛ්‍යාවක් සෘජුවත්, ලක්ෂ පහකට අධික සේවක සංඛ්‍යාවක් වක්‍රවත් මෙම කර්මාන්තය සමඟ රැදී සිටිනවා. මෙරට වෙළෙඳපොළ ඉල්ලු‍මට අවශ්‍යය 95%කම නිෂ්පාදන සිදුකරන එකම ස්වයංපෝෂිත කර්මාන්තය මෙම කර්මාන්තයයි. අපි හිතුවට මේ ලංකාවේ රස කැවිලි කියලා මේ සඳහා වසර දහයක කාලය තුළ අපේ ආයෝජකයන් බිලියන 15කට වැඩි තාක්ෂණික ආයෝජනයන් සිදුකර තිබෙනවා. අද අපේ මේ හුඟක් නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට සෞඛ්‍ය සම්පන්නව ජාත්‍යන්තර වට්ටෝරු අනුව තමයි හදන්නේ.

ජාත්‍යන්තර නිෂ්පාදන සමග තරඟකාරීව කටයුතු කරන අපි හරිම ශක්තිමත්ව සිටින දේශීය කර්මාන්තයක්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යුටිලිටි කොස්ට් එක. පහුගිය කාලයේ පුරාම මේවායේ කොස්ට් එක ගොඩක් වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය සියල්ල ආනයනිකයි. පහුගිය කාලේ පුරාවට මේවා මිල වැඩිවුණා. අපි කොවිඩ් කාලෙන් පස්සේ මිල වැඩි කිරීමක් සිදු කළේ නැහැ. බොහොම සීමා සහිත ලාභ එක්ක අපි මේ කර්මාන්තය පවත්වාගෙන යනවා. දැන් මේ තියෙන තත්ත්වය ගැන කතා කළොත් අපි මේ සූදානම් වෙමින් තිබෙන්නේ අපේ හොඳම මාස ටික මාර්තු, අප්‍රේල්, දෙසැම්බර්, නොවැම්බර්. ඒ කියන්නේ සීසන් එක. දැන් ඇත්තටම අපේ සියලු‍ නිෂ්පාදන අලු‍ත් අවුරුද්දට හදලා බෙදා හරිමින් තියෙන්නේ. මේ අවස්ථාවේ සංගමය හැටියට අපි තීරණය කරලා තියෙනවා මොන ප්‍රශ්න ආවත් අලු‍ත් අවුරුද්ද අවසන් වෙනකල් අපි මිල වැඩි කරන්නේ නෑ කියලා.”

මැයි මාසයෙන් පසුව පමණ තවදුරටත් ගෑස් මිල, විදුලි බිල සහ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් පමණක් යම් මිල සංශෝධනයකට යොමුවන බවයි ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.