අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් රටට ලබා දීමේ අපේක්ෂාවෙන් සිදුකරන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

බුද්ධ ශාසනල ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින පොහොය කමිටුවේ සාමාජිකයන් වන සාම්ප්‍රදායික පංචාග ලිත් කතෘවරුන් මගින් 2025 වර්ෂය සදහා අලුත් අවුරුදු නැකැත් සම්පාදනය කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් 2026 වර්ෂය සදහා අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට කණ්ඩායම් දෙකක් ඉදිරිපත්වීම නිසා පොදු එකඟතාවකට එළඹීමේ අරමුණින් අවස්ථා 4කදී එකී කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ සදහා රාජ්‍ය අස්පර්ශනීය කලා උරුම සහ සාම්ප්‍රදායික කලා අනු මණ්ඩලයේද අදහස් විමසා තිබෙනවා.

එහෙත් මේ වනතුරු මෙම පාර්ශවයන් අතර අලුත් අවුරුදු නැකැත් පිළිබදව එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වි ඇති බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මතුව ඇති ගැටළු නිරාකරණය කර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ලබාදීමේ අපේක්‍ෂාවෙන් අද දිනයේ සාකච්ඡාක් කැඳවා ඇති බවයි බුද්ධ ශාසනල ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.