මින් ඉදිරියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන සහායක් නොලැබෙන වටපිටාවක් වත්මන් ආණ්ඩුව නිර්මාණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2,500ක් ඉදිකිරීම ඇතුළුව රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන - 2026 සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඇතැම් නිලධාරින් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර හෝ කවර ප්‍රදේශයක, කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවේ.

එමෙන්ම යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය තම පාලන කාලය තුළ විසඳන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.