මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ගෙවීම පැහැර හරිනු ලැබූ හිඟ සුරා බදු අය කර ගන්නා ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සංකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු පැවරීමෙන් අනතුරුව ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් ගෙවිය යුතු හිඟ බදු මුදල් වල ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව පෙන්වා දුන්නා.
නිදසුනක් ලෙස ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් ආරම්භයේදී රුපියල් බිලියන 1.29 හිඟ බදු මුදලක් ගෙවීමට නියමිතව තිබුණද මේ වන විට එම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
ඉන් අනතුරුව වගඋත්තරකාර සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිඟ බදු මුදල් ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම් ගණනාවකම බලපත්‍ර මේ වන විට අත්හිටුවා තිබෙන බව සඳහන් කළා.
එසේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමෙන් පසුව එය අභියෝගයට ලක් කරමින් සමාගම් ගණනාවක් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන බවත් මීට පෙර අධිකරණය විසින් කළ නියෝගයකට අනුව එසේ නඩු පවරනු ලැබූ සමාගම් වල නම් ඇතුළත් ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා.
ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් වල හිඟ බදු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන්නේ ඊට පස්සේ අදාල දඩ මුදල් එකතුවීම නිසා බවත් මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නා.
තවත් මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා සඳහන් කළේ තම සේවාදායකයින් හිඟ බදු මුදල් ගෙවා ගැටලුව නිරාකරණය කිරීමට සූදානම් බවත් එම බදු මුදල් ගෙවීම සඳහා සහන වැඩසටහනක් අවශ්‍ය බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ මුලින්ම හිඟ බදු මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙසත් ඉන් පසුව එම කාරණය සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.
හිඟ බදු මුදල් අය කර ගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා මාස තුනක කාලයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම නඩුකරය ජූලි මස 20 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
ඉස අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 16 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.




