හැටන් – කොළඹ සහ හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගවලට පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසනවා.

ඒ අනුව එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට මහ වැසි ඇද හැලෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.

මේ අතර අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට හමන පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

දිවයින වටා ඇති මුහුද ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද ඔහු කරුණු දැක්වූවා.