ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා මානූෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් ත්‍රිකුණාමල වරායට සේන්දු වී තිබෙනවා.

මෙරටට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මානූෂීය සහන සැලසීම සඳහා ඉන්දීය රජය ආරම්භ කළ “සාගර් බන්දු” මෙහෙයුමට එක්වෙමින් තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය මෙම මානූෂීය ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට මෙරටට පැමිණි මෙම නෞකාව තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය මගින් මානූෂීය ආධාර රැගෙන මෙරටට යොමු කළ පළමු නෞකාව ලෙසයි සැලකෙන්නේ.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ යාපනයේ ස්ථාපිත උප කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් සායි මුරලි මහතා විසින් මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා වෙත නිල වශයෙන් ත්‍රිකුණාමල වරායේදී භාරදී තිබෙනවා.