2026 වසරේදී මෙරට උද්ධමනය 5.2%ක් දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

මෙරට උද්ධමනය 2025 වසරේ පැවැතියේ සෘණ 0.5 මට්ටමකයි. ඒ අනුව සෘණ 0.5 මට්ටමේ පැවති මෙරට උද්ධමනය 2026 වසරේදී 5.2%ක් දක්වා ඉහළ යා හැකි බවටයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙරට උද්ධමනය 2027 වසර වන විට සියයට 4 මට්ටමක පවතිනු ඇති බවටද ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ.

ඔවුන් මෙම අදහස් පල කර ඇත්තේ ඊයේ දින ප්‍රකාශයට පත් කල Asian Development Outlook  වාර්තාව මගින්.

ආසියානු සංවර්ධන බැංකුව සිය වාර්තාව මගින් ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් ද අදහස් පළ කර තිබෙනවා.

ඒ අනුව 2024 සහ 2025 වසරවලදී අඛණ්ඩව අත්පත් කරගනු ලැබූ සියයට 5.0ක ආර්ථික වර්ධනයෙන් පසු 2026 වසරේදී මෙරට ආර්ථිකය 4.0%ක වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ.

2027 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.2 දක්වා වර්ධනය වනු ඇති බවද එහි සදහන්.

සමස්ථයක් ලෙස ගත් කල ආසියා පැසිෆික් කලාපයේ 2026 හා 2027 වර්ෂවල ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක මට්ටමක පවතිනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

කලාපයේම උද්ධමනය ද සියයට 3.6ක් දක්වා වැඩි වනු ඇති බවද සදහන්.