මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ මොහොතේ සිටම රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සියල්ල එම ස්ථාවරය මත පදනම්ව ගනු ලැබූ බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ඉරානයට අයත් නෞකා දෙකක් පිළිබඳ මතු වී ඇති ප්රශ්නයේදීත් අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය බව ජනාධිපතිවරයා කියාසිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පසුගිය 26 වන දා ඉරානය විසින් නාවික යාත්‍රා 03ක් මාර්තු 09 සිට 13 දක්වා දින 04 තුළදී මෙරට වරායන්ට ප්රවිශ්ට වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා සිටි බවයි ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ.
ලක්රජය ඒ සදහා අදාළ වන ක්රියාපරිපාටි අධ්‍යයනය කරමින් සිටි බවද ජනාධිපතිවරයා කියාසිටියා.
එම කාලය අතරතුර, මාර්තු 04 වන දා අලුයම 5 පසු වී විනාඩි 08 සහ විනාඩි 30 අතර කාලය තුළ මෙරට ජල තීරයෙන් ඔබ්බෙන්, ආසන්න වශයෙන් ගත් විට ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරන බව වාර්තා වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුමක නිරත වී පුද්ගලයන් 32දෙනෙකු මුදා ගත් බවත් මළ සිරුරු 84ක්ද සොයා ගැණුනු බවත් ජනාධිපතිවරයා සදහන් කළා.
දෙවනුව, “අයිරිස් බුෂර්” නෞකාව මාර්තු 04 සහ 05 දෙදින තුළ මෙරට වරායකට සේන්දු වීමට අවස්ථාව ලබා දෙන ලෙස පසුගිය 04 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කළ බවද ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.
රජය තීන්දු තීරණ ගත යුත්තේ මෙරට ජනතාව සහ මෙරට මුහුදු තීරය මුළුමනින්ම අවදානමකට ලක් නොකරමින් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළා.
මේ අතර “අයිරිස් බුෂර්” නෞකාවෙන් මුදාගත් පිරිස වැලිසර නාවික හමුදා කදවුරට රැගෙන යාමට පියවර ගෙන ඇති බවද ජනාධිපතිවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කළා.



