2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

පාරිසරික නීතිවේදියකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මියගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ ඇතැම් වග උත්තරකරුවන්ගේ නිවැරදි ලිපින අධිකරණය හමුවේ ගොනුකර නොමැති බව සඳහන් කළා.

අදාල වග උත්තරකරුවන්ගේ නිවැරදි ලිපින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඒවා ඉදිරියේදී ගොනු කිරීමට කටයුතු කරන බවත් මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණි පෙරේරා මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

ඒ අනුව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යන අයගේ නිවැරදි ලිපින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

එම ලිපින මෝසමක් මාර්ගයෙන් ජනවාරි මස 28 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම යළි ජනවාරි මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් පෙබරවාරි මස 5 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් 2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකිරීමේ සිද්ධීන් වලට අදාළව එවක රජය විසින් 43 දෙනෙකුට රුපියල් බිලියන 1.22 ක මුදලක් වන්දි වශයෙන් ගෙවා තිබෙන බව සඳහන් කළා.

ඊට ඉකුත් රජයේ මැති ඇමතිවරු ගණනාවක් ඇතුළත් වන බවත් ඔහු සඳහන් කර තිබූ බවත් පෙත්සම්කරු සඳහන් කළා.

පවතින නීති රීති වලට අනුව ස්වාභාවික ආපදාවකදී වුවද සිදුවන හානි වෙනුවෙන් ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඒත් ඇතැම් හිටපු ඇමතිවරු එම නීතිමය සීමාව ඉක්මවා වන්දි මුදල් ලබාගෙන තිබෙන බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු චෝදනා කළා.

මෙලෙස නීතිය ඉක්මවා රජය විසින් තෝරාගත් පුද්ගලයින්ට විශාල වන්දි මුදල් ගෙවීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සන්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසත් ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එවැනි විමර්ශනයකින් පසුව නීතිය ඉක්මවා වන්දි මුදල් ලබාගත් පුද්ගලයින්ගෙන් එම වන්දි යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සාධාරණ ක්‍රමවේදයක් යටතේ ඔවුන්ට හිමි විය යුතු වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

උදය කුමාර