මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම පිණිස ගත හැකි සියලුම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති සැපයුම්කරුවෙකු මෙන්ම සමීපතම මිත්‍ර රටක් වන රුසියානු සමූහාණ්ඩුවෙන් ඛනිජ තෙල් හා ගල් අගුරු ලබා ගැනීම පිළිබදව ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඒ පිළිබදව තවදුරටත් කරුණු සොයා බැලීම හා අවශ්‍ය එකගතා ඇති කර ගැනීම පිණිස රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය “රෝමන් මාර්ෂාවින්“ මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ රුසියානු දූත පිරිසක් මෙරටට පැමිණි බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

නියෝජ්‍ය මුදල් හා කම්කරු අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඇතුළු රජයේ නියෝජිත පිරිසක් හා දිවයිනට පැමිණ සිටින රුසියානු දූත පිරිස සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී පැවැත් වුණා.

බලශක්ති අර්බුදය විසදාගැනීම පිණිස කෙටි කාලීන විසදුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙක අතර බලශක්ති සබදතා තර කර ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර බොරතෙල් සැපයුම මෙන්ම පෙට්‍රල්, ඩීසල් හා ගුවන්යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන සැපයීමට ඇති හැකියාවත් රුසියානු පාර්ශවයෙන් ප්‍රකාශ වූ බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.

කෘෂිකර්මාන්තයට අත්‍යාවශය පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබදවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

විශේෂයෙන් මෙරටට අවශ්‍ය තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම සදහා ඇති හැකියාවද රුසියානු දූත පිරිස වෙතින් ප්‍රකාශ වූ බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම රටවල් දෙක අතර දිගුකාලීන බලශක්ති සබදතා තර කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.