මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් අපහසුතාවට පත් වී මෙරට රැදී සිටින විදේශිකයන් වෙනුවෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත අතිරේක ගුවන් ගමනක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සංවිධානය කර තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එම ගුවන් ගමන ලබන ඉරිදා උදෑසන 06.50 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමටයි සැළසුම් කර ඇත්තේ.
පසුව එම ගුවන් යානය පස්වරු 03.05 ට එංගලන්තයේ ලන්ඩන් නුවරින් පිටත්වී, එදිනම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.
මේ පිළිබද වැඩිදුර විස්තර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියෙන් හෝ 074 444 19 79 හෝ 044 777 19 79 දුරකථන අංක මගින් ලබාගත හැකියි.
එමෙන්ම එමිරේට්ස් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාළසටහනකට අනුව සිය ගුවන් ගමන් සිදු කරන බවයි.
මැදපෙරදිග කලාපයේ ගුවන් අවකාශයන් අර්ධ වශයෙන් හෝ විවෘත කළ පසු සිය සුපුරුදු ගුවන් ගමන් කාළසටහන අනුව ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එමිරේට්ස් ගුවන් සේවය දන්වා සිටිනවා.
මේ පිළිබද වැඩිදුර මෙන්ම නවතම යාවත්කාළීන තොරතුරු දැනගැනීම සදහා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම වෙත පිවිසෙන ලෙසටයි එමිරේට්ස් ගුවන් සේවය දැනුම් දී ඇත්තේ.
මැදපෙරදිග කලාපයේ සිට මෙරටට සිදුවන ගුවන් ගමන් මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ දිනය තුළ මැදපෙරදිග කළාපයේ ඩුබායි සිට ගුවන් යානා 06 ක් පැමිණ තිබූණා.
තවත් ගුවන් යානා 06 ක් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.
එහිදී ශ්‍රී ලන්කන්, එමිරේට්ස්, ෆිට්ස් එයාර් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා යානා ඩුබායි සිට ගුවන් මගීන් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූණා.



