රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස පත්කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ සාක්ෂියක් ලෙස වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම විගණන වාර්තාව සකස් කිරීම සඳහා ඊ මේල් පණිවිඩ අඩංගු සීඩී තැටි 26ක් සහ සැනලි දාරක කීපයක් සම්බන්ධයෙන් ප්රවේශ වී පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව රජයේ නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව අදාළ පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් මස 22 වනදා කැඳවීමටයි දින නියම වුණේ.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.