“හොබ් නේල්ස් ටු ස්පයික්ස්” කෘතිය එළිදැක්වීම දා තිලංග සුමතිපාල මහතාගේ මුහුණු පොතේ පළ කල සටහාන පහතින් දැක්වේ.

හැත්තෑව දශකයේ කොළඹ ශාන්ත බෙනඩික්ත විද්‍යාලයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකුව සිට ශ්‍රී ලංකා කණ්ඩායම දක්වා පැමිණි ගමනත්, එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු, කළමණාකරු, තේරීම් කමිටු සාමාජිකයකු ආදී විවිධ භූමිකා නිරූපණය කිරීමත්, පසුව ක්‍රිකට් විස්තර විචාරක කුටියට පැමිණ රන්ජිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්නට වචන වලින් පෑ හරඹයත් මම පෞද්ගලිකවම අත්විඳ ඇත්තෙමි.

එදා මෙදා තුර වසර 60 කට වැඩි කාලයක් පුරා එතුමන් ක්‍රිකට් පිටියේ කළ දිගු ගමන “හොබ් නේල්ස් ටු ස්පයික්ස්” කෘතිය තුළ සටහන් වී තිබෙනු දැකීම ඉතා සතුටට කාරණයකි.

රන්ජිත් ප්‍රණාන්දු මහතාගේ ජීවන වෘත්තාන්තයද සමගින්, ක්‍රිකට් ලෝකයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ එතුමාගේම අදහස් ඇතුළත් මෙම කෘතිය පසුගිය ඉරිදා (15) දොරට වැඩියේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදීය.

අනුර තෙන්නකෝන් මයිකල් තිසේරා, අනුරුද්ධ පොළොන්නෝවිට, ස්ටැන්ලි ජයසිංහ චන්ද්‍රා ෂාෆ්ටර් වැනි රංජිත් ප්‍රනාන්දු මහතාගේ සමකාලීනයන් මෙන්ම ජ්‍යෙෂ්ඨයන්ද සිදත් වෙත්තමුණි, අරවින්ද ද සිල්වා, කුමාර් ධර්මසේන වැනි හිටපු ක්‍රීඩකයන්ද, ක්‍රිකට් මාධ්‍ය කුටියේදී රංජිත් ප්‍රනාන්දු මහතා සමග නිතර හමුවූ රමීස් රාජා, වසිම් අක්රම්, සුනිල් ගවස්කාර්, රවී ශාස්ත්‍රි ආදී ක්‍රිකට් ප්‍රවීණයන්ද මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාව වර්ණවත් කිරීම සඳහා එක්ව සිටියහ.

වත්මන් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මිල කළ නොහැකි මඟ පෙන්වීමක් මෙන්ම, ඔවුන්ගේ ධෛර්යය ඉහළ නංවන්නක් ද වන මෙම කෘතිය ආදර්ශවත් ගුරු අත්පොතක් ⁣ලෙසද මම දකිමි.