අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

මෙම මෝසම සම්බන්ධයෙන් වාචිකව විවෘත අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කියාසිටියේ අල්ලස් කොමිසම විසින් සිය සේවා දායකයාගේ ප්‍රකාශයක් සටහන් කරගන්නා අතරතුර දිවා ආහාරය සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පිටව ගිය අවස්ථාවේ සිය සේවා දායකයාව වෙනත් කාමරයකට රැගෙන ගිය බව සඳහන් කළා.

එහි සිටි අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා බලපෑම් සිදු කරමින් දේශපාලකයින්ගේ නම් සඳහන් කරන ලෙස සැකකරුට බලපෑම් කර තිබෙන බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මේ නිසා අදාල ප්‍රකාශයට ඇතැම් පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීමට සැකකරුට සිදුවූ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් සිය සේවාදායකයාට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් සිදු කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අදාල නඩුකරය කැඳවන ලබන 19 වනදා මෙම ඉල්ලීම සිදු කරන ලෙස ජනාධිපති නීතිඥවරයාට දැනුම් දී තිබෙනවා.