මධ්‍යම පළාත් සභාවෙන් පාලනය වූ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහල මධ්‍යම රජයට පවරාගෙන සංවර්ධනය කිරීම සඳහා සියලු කටයුතු අවසන් බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද වසර ගණනාවක සිට දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.
වසර ගණනාවක සිටම දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි රෝහල වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා පැවැති රජයන් කිහිපයකම උත්සහයක නිරතව සිටියද ඒවා අසාර්ථක වීම විශේෂත්වයක්.
වර්තමාන රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දුවක් ඉටුකිරීම සඳහා මේ වන විට දඹුල්ල මූලික රෝහල දඹුල්ල රජ මහා විහාරය පිටුපස ප්‍රදේශයේ රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයෙන් ලබාදුන් ඉඩමකට රැගෙන ගොස් එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ගමගෙදර දිසානායක මහතා පැවසුවා.
මේ වන විටත් දඹුල්ල මූලික රෝහ රැගෙන යෑම සඳහා මෙන්ම ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලු ම නීතිමය පැතිකඩ අවසන් කොට තිබෙන බවද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙමගින් උතුරු මැද පළාත මධ්‍යම පළාත වයඹ පළාතේ මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ද විශාල සේවාවක් ලබා දීමට රජයට හැකි වන බවයි.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අරුණ කුමාර මහතාගෙන් විමසීමේදී සඳහන් කළේ මේ වන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැත්තෙන් සිදු විය යුතු සියලු කරුණු කාරණා ඉටුවීම ඇති බවයි.
නව රෝහලින් ඇඳන් 1800 කට ආසන්න ප්‍රමාණයක් සහිතව නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකිවන පරිදි අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා සියලු සැලසුම් සකස් කොට ඇති බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.




