2026 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම සහ නව වසරේ අපේක්ෂිත කටයුතු සාක්ෂාත් කරගැනීම සඳහා සුභාශිංසන එක් කිරීමේ විශේෂ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින පැවැත්වුනා.

එහිදී දිට්වා සුළිකුණාටුවෙන් දිවි අහිමි වූ සියලුම දෙනා සහ මානුෂීය මෙහෙයුම්වල දී දිවි අහිමි වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබුවා.

මෙහි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන්ගේ දින දෙකක වැටුප සහ අනෙකුත් සේවක මහත්ම මහත්මීන්ගේ දිනක වැටුප දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට ලක් වූ පිරිසට සහන සේවා සැපයීම සඳහා රජය මගින් පිහිටුවා ඇති අරමුදලට බැර කිරීම සංකේතාත්මකව සිදු කිරන ලදි.

මෙම අවස්ථාවේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා කාර්ය මණ්ඩලය අමතමින් නව වසරට සුබ පැතුම් එක් කළ අතර අමාත්‍යාංශ ඉදිරි සැලසුම් සාක්ෂාත් කරගැනීමෙහිලා සමස්ත කාර්ය මණ්ඩලය සතු කාර්යභාරය පිළිබඳව ද සඳහන් කර සිටියා.

සර්වාගමික වතාවත් ද සිදුකෙරුණු මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ද සහභාගී විය.