විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව ගැන තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

යම් ලෙසකින් විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් එය රටේ ආර්ථිකයට කෙලෙස බලපායිද?

මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක්.

විදුලි ගාස්තුව ඉහළ දැමුවහොත් එය සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් එල්ල කරන බව ආර්ථික විද්වතුන් පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පෙර ඊට බලපෑ හේතු කවරේදැයි විමසා බැලිය යුතු බවයි.

රටට වාසිදායී විදුලි නිෂ්පාදන ක්‍රමයන් කෙරෙහි අවධානය යොමු කර විදුලි බිලෙහි මිල සැලකිය යුතු පහළ මට්ටමක පවත්වාගත යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

තමන් වෙත දිගින් දිගටම බර පැටවීම ජනතාව කිසිසේත් අපේක්ෂා නොකරන බවද මහාචර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කළ යෝජනාව පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශ කිරීමට හැකිවන්නේ මහජන උපදේශන ක්‍රියාවලියට ගතවන සති තුනක කාලය ඉක්මවීමෙන් පසු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මහජන උපදේශන ක්‍රියාවලියට සිදුවන දින වකවානු මෙම සතියේ ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.