පාසල් කාලය වෙනස් කිරීම පමණක් නොව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වෙනස්විය යුතු කරුණු රාශියක් පවතින බව ගුරු සංගම් පවසනවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ පාසල් අවසන් වන කාලය සංශෝධනය කිරීම එක්තරා ජයග්‍රහණයක් බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙතරම් විරුද්ධ වන්නේ ඇයි දැයි නෙත් නිවුස් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගෙන් සෘජුව ප්‍රශ්න කළා.
අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ රාත්‍රියේ නිවේදනය කර තිබුණේ 2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට තීරණය කළ බවයි.
ඒ, රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් හා ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව පාසල් සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත්වන තුරු පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 05 දින ආරම්භ වීමට නියමිතයි.
එහිදී 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 07ක් පැවැත්වෙනු ඇති.
ඒ අනුව එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් වනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එක ශ්‍රේණිය සහ හය ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වීමට නියමිතයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ හය ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 21 වන දින ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
එක ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 05 වන දින ආරම්භ වනවා.
විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වන දිනයි.
එක ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ හය ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබාදී අවසන් කිරීමට කටයුතු සලසා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.


