2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සම සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 72කින් පරාජය කරමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 4ක් දැවී ලකුණු 256ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි කණ්ඩායමක් එක් ඉනිමකදි රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වෙමින්.
එමෙන්ම එම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් ඉනිමක වාර්තා වූ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.
ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරග ඉතිහාසයේ එක් ඉනිමකදී ලකුණු 250 ඉක්මවා ගිය 5 වන අවස්ථාව මෙය වන අතර එවැනි දස්කමක් දැක්වූ පළමු කණ්ඩායම ලෙසටයි ඔවුන් වාර්තා අතරට එක් වුණේ.
මෙම තරගයේ ඉන්දීය ඉනිම ශක්තිමත් කළ අභිෂේක් ෂර්මා පන්දු 30කදි ලකුණු 55 ක් රැස් කළ අතර හාර්දික් පාණ්ඩ්‍යා පන්දු 23කදි නොදැවී ලකුණු 50ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 184 ක් පමණයි.
සිය කණ්ඩායම ලැබීමට තිබූ දැවැන්ත පරාජයේ අවමානයෙන් ගලවා ගැනීම සදහා ප්‍රබල සටනක නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් පන්දු 59කදි නොදැවී ලකුණු 97 ක් රැස් කළා.
ඒ අනුව මෙම තරගයේ ප්‍රතිඵලයෙන් පසු සුපිරි අට දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායමට හිමි වුණේ තුන් වන ස්ථානයයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය ම සහ ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිකර ගෙන සිටින අතර දළ ලකුණු වේගය මත කොදෙව් කණ්ඩායම රැදී සිටින්නේ දෙවන ස්ථානයේයි.
ඒ අනුව මාර්තු පළමු වනදා පැවැත්වෙන ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ජය ගන්නා කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.



