රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය විසින් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද පෙරවරු 08.00ට අවසන් වීමට නියමිතයි.

මේ අතර, මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත් කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණය බලයක් නොමැති බව සඳහන් කළා.

මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ 2020 වසරේ සකස් කළ ක්‍රමවේදයට අනුව බවත් එය රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමත කර තිබූ බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරයා, අභියෝගයට ලක් කර තිබෙන පත්කිරීම් සදහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙන බවත් සඳහන් කළා.

රාජ්‍ය සේවා කොමිසමේ තීරණ පිළිබඳ සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම පත්කිරීම් ලැබූ පිරිස මීට පෙර වෛද්‍යවරු වශයෙන් සේවය කර නොමැති බවත් සීමාවාසික පුහුණුව ලබන කාලසීමාව රජයේ වෛද්‍ය සේවයේ නිරත වීමක් ලෙස සැලකිය නොහැකි බවත් සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

ඔවුන් පත්වීම් ලබන්නේ පළමු වතාවට බවත්, එබැවින් මෙය ස්ථාන මාරු කිරීම් වශයෙන් සැලකිය නොහැකි බවත් ඔහු කියා සිටියා.

එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හෝ වෙනත් කිසිදු වෘත්තීය සමිතියකට මෙම පත්කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වීමට නීතියෙන් කිසිදු බලයක් නොමැති බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරයා, පත්වීම්ලාභීන්ගෙන් සියයට හැත්තෑ පහක් පමණ සේවා ස්ථානවලට මේ වනවිට වාර්තා කර තිබෙන බවත් පැවසුවා.

එම නිසා මෙම පෙත්සම් නීතිය ඉදිරියේ පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සිය මූලික විරෝධතාවලින් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම්වලට අදාළව රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා දී තිබෙන්නේ තම සේවාදායකයින් මෙම නඩුකර ගොනු කිරීමෙන් පසුව බව සඳහන් කළා.

මාරු මණ්ඩල තුළ වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම්වලට නීතියෙන්ම සහභාගීත්වයක් සහ බලතල හිමිවී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, අමාත්‍යවරයාට හෝ දේශපාලකයින්ට එය නිෂ්ප්‍රභ කළ නොහැකි බව සඳහන් කළා.

ඇමතිවරයා මෙම නීතිමය තත්ත්වය වැරදි ලෙස වටහා ගැනීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ට අනවශ්‍ය අරගලයකට මැදිහත් වීමට සිදුව ඇති බවත් ඔහු චෝදනා කළා.

මාරු මණ්ඩල පත් කර තිබෙන්නේ ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට යටත්ව බවත් දුෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීමේ බලය මාරු මණ්ඩල වෙත පැවරී තිබෙන අතර එම බලය අත්තනෝමතික ලෙස විෂය භාර අමාත්‍යවරයා වෙත පවරා ගත නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

මෙම නීතිවිරෝධී තත්ත්වය පිළිබඳව සිය සේවාදායකයින් විෂය භාර අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ බවත් ඔහු මෙම කාරණය අධිකරණයට ගෙන යන ලෙස අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ බවත් ඔහු කියා සිටියා.

මෙම ප්‍රශ්නගත පත්කිරීම්වලට අදාල දූෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීමේ බලය, මාරු මණ්ඩල වෙත හිමි වී තිබුණද එම පත්කිරීම් සදහා මාරු මණ්ඩලවල අනුමැතිය ලබාගෙන නොතිබූ බවත් ඔහු පෙන්වා දුන්නා.

සීමාවාසික පුහුණුව අවසන් කළ පසු එම තැනැත්තා වෛද්‍යවරයෙකු බවට පත්වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එබැවින් මෙය පත්කිරීමක් නොව මාරු කිරීමක් බවත් තර්ක කළා.

තමා කිසිදූ අවස්ථාවක මෙම පත්කිරීම් බල රහිත කරන ලෙස ඉල්ලා නොසිටින බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා තමා අභියෝගයට ලක් කරන්නේ දූෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීම සඳහා මාරු මණ්ඩල සතු බලය අමාත්‍යවරයා පවරා ගැනීම සම්බන්ධයෙන් පමණක් බවත් කියා සිටියා.

ඒ අනුව මාරු මණ්ඩල අනුමැතියකින් තොරව වග උත්තරකරුවන් විසින් පත්කරන ලද සීමාවාසික වෛද්‍යවරු දුෂ්කර සේවා ස්ථාන සඳහා අනුමත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ සියලු දෙනා වෛද්‍ය නිලධාරින් වශයෙන් සැලකෙන බව සඳහන් කළා.

මාරු මණ්ඩලය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වය දරන අතර 2025 වසරේ දූෂ්කර සේවා ස්ථාන 393 ක් පැවති අතර නැවත සමාලෝචනය කරන තුරු එහි වෙනසක් නොකරන බවට බලධාරීන් පොරොන්දු වී තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු මාරු මණ්ඩලයේ කරුණු විමසීමකින් තොරව විෂය භාර අමාත්‍යවරයා විසින් දූෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීම සහ මාරු කිරීම් සිදු කිරීම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළා.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ මෙම කරුණ මුල්කරගෙන මතුවී තිබෙන ගැටළුකාරී තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා සියලු පාර්ශව අවධානය යොමු කළ යුතු බවයි.

ඉන් අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාල ලිඛිත දේශන මේ මස 24 වනදා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 08 වනදා සිදු කරන බව විනිසුරු මඩුල්ල නියෝග කළා.