හය ශ්‍රේණියේදී ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එම සිසුන් සඳහා හත ශ්‍රේණියේදී ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවේ හත ශ්‍රේණියේදී ක්‍රියාත්මක කරන නව මොඩියුල සම්බන්ධයෙන් ද විධිමත් අධ්‍යයනයක් සහ දැනුවත් කිරීමකින් පසුව සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මෙම වසර පුරා නව මොඩියුල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වනවා.