ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර්  තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරු  ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම  නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදු කළා.
එහිදී අල්ලස් කොමිසමේ  නිළධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ඛනිජ තෙල් ඇමති අර්ජුන රණතුංග හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන අය විත්තිකරුවන් කරමින් දූෂණ විරෝධී පනත ප්‍රකාරව මහාධිකරණයේ අධි චෝදනා ගොනුකළ  බව සඳහන් කළා.
2017 - 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින්  අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් යටතේ ඉන්ධන මිලදී ගැනීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීම හා ඊට ආධාර අනුබල දුන්නේ යැයි  චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට චෝදනා ගොනු කර තිබෙනවා.