හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද රදවා සිටි වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක තිබි සොයාගත් ජංගම දුරකතන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර බුද්ධි අංශය විසින් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් සිදුකළා.

එහිදී එම වාට්ටුවේ තිබී ජංගම දුරකතන 16 ක් සොයාගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇතුළු රැදවියන් 150 දෙනෙකු පමණ එම වාට්ටුවේ රදවා සිටිනවා.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ පසුගියදා හටගත් නොසන්සුන්තාවට අදාළව සිදුකෙරෙන මූලික විමර්ශනය කඩිනමින් අවසන් කර එහි මූලික වාර්තාව ලබාදෙන ලෙසට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

ඊට අදාළ විමර්ශන සිදුකිරීම සදහා වටරැක බන්ධනාගාරයේ ජේ්‍යෂ්ඨ ජේලර්වරයෙකු පසුගියදා පත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම නිලධාරියා මේ වනවිටත් බූස්ස බන්ධනාගාරය වෙත ගොස් අදාළ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ව්‍යායාම් කිරීම සදහා බූස්ස බන්ධනාගාරයේ ඩී වාට්ටුවෙන් පිටතට ගත් රැදවියන් කිහිපදෙනෙකු යළි එම වාට්ටුවට ඇතුල් කිරිීමේදී පසුගිය 16 වනදා නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහිදි රැදවියන් 7 දෙනෙකු බන්ධනාගාර වහල මත නැග බූස්ස බන්ධනාගාර පරිපාලනයට එරෙහිව විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් එහිදී බන්ධනාගාර දේපළවලටද හානි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

පැය කිහිපයකට පසු එම රැදවියන් යළි ඩී වාට්ටුවේ රදවා තිබෙනවා.

කෙසේවෙතත් එලෙස කලහකාරී ලෙස හැසිරිනු රැදවියන්ගෙන් 6 දෙනෙකු වෙනත් බන්ධනාගාර තුනකට එදිනම මාරු කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.