අල්ලස් පනත යටතේ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතාට හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ සිදු වුණා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරික වන අනිකා විජේසූරිය නමැත්තියගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වුණා.

2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විත්තිකාර රවී කරුණායක මහතා අදාල නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ "මොනාර්ක් නිවාස සංකීර්ණයේ" පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රවි කරුණාක මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.

එම කටයුත්තට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දෙවන විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව එම කොමිසම විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.