පානදුර උතුර, පරත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමග මල්ශාලා හිමිකරුවෙකු, ඔහුගේ මව අතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගෙන් පොලීසියට තර්ජන එල්ල වන බවට වාර්තා වනවා.
එම ප්‍රදේශයේ ප්‍රකට එම මල් ශාලා හිමිකරු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 21 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එම මල්ශාලා හිමිකරු විසින් දීර්ඝ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවටද පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඔහු උපයාගත් දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කටයුතු කරන බවද පොලීසිය පැවසුවා.
පානදුර උතුර පොලිස් බලප්‍රදේශයට අයත් පරත්ත, දිග්ගල, මිරියවත්ත, හොරේතුඩුව, අම්බලන්දූව, තොටවත්ත, වේරවත්ත සහ ගොරකාන යන ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේ මෙහෙයවීමෙන් එම ජාවාරම් ක්‍රියාත්මක බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසුවා.




