තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 10 ක් යොදවා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරයෙකු බවටයි හෙලි වී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා බව පොලීසිය තහවුරු කළා.

ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සහ බිරිද ඊයේ පස්වරුවේ වෙඩිතබා ඝාතනය කෙරුණේ අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලක් තුළදීයි. ඔවුන් දෙදෙනාම මෝටර් රථය තුළම මියගොස් තිබුණා.

ඝාතනයට ලක්වූ කාන්තාව ඔහුගේ බිරිද බවද පොලීසිය පැවසුවා.

ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

ඊයේ සවස 05ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයකින් පලාගියා.