නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා බවයි.

එබැවින් රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බව ද ඇය පෙන්වා දුන්නා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ආගමික සංකේත යේදීමේදී මතුව ඇති ගැටලුවක් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්නයක් යොමු කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළා.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද අදහස් පළ කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බවයි.

මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත හැකි නවීන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ග්‍රාමීය දරු පරපුර විෂම දුප්පත්භාවයේ චක්‍රයෙන් මුදාගත හැකි එකම මාවත අධ්‍යාපනය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

අසත්‍ය ප්‍රචාරවලට යට නොවී රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම ක්‍රියාත්මක කරමින් දරු පරපුරට හොඳ අනාගතයක් ගොඩනගා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.