Published
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යංශය ලේකම්වරයකු වන අනුෂ පැල්පිට මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සැකකරු කොටස් වෙළඳපොලේ සිදුකර තිබෙන බව කියන ආයෝජන පිළිබඳව වාර්තාවක් කැඳවා තිබෙන බවයි.
එම වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් එම නිලධාරීන් අධිකරණයට ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මාසයකට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවන බව සඳහන් කළා.
ඔහු විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය ලබාදීමට සූදානම් බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසත් නීතිඥවරයා අදිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නැති බවයි.
ඒ අනුව සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව යළි මැයි මස 29 වන දා කැඳවීමටද නියම කළා.
2012 වසරේ මාර්තු 31 වන දා සිට 2014 වසරේ මාර්තු 31 වනදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයාගෙන තිබෙන බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අනූෂ පැල්පිට මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.




