අල්ලස් ලබාගැනීමේ චෝදනා මත කින්නියා පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම පැමිණිලිකරුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරිම සදහා සැකකාර පොලිස් නිලධාරියා රුපියල් දස දහසක අල්ලසක් ඉල්ලා ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සදහා සැකකාර පොලිස් නිලධාරියා එම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.

ඒ අනුව එම අල්ලස වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් ලබාගැනීමේ චෝදනා මත සැකකාර උපපොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.