අයථා ලෙස වත්කම් ඉපැයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු බව කියන දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාදීම සඳහා අවශ්‍ය උපකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියකට අදාලව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් .දුමින්ද සිල්වා නම්කරන බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පැමිණිල්ලේ තවත් සැකකරුවකු ලෙස නම් කර ඇති අඩංගුවට ගත් මොහොමඩ් සප්රාස් නමැති සැකකාර ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිෂම මෙම දැනුම් දීම සිදු කළා.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වාගේ අනුදැනුම මත මෙම අල්ලස් මුදල් ලබා ගෙන ඇති බව සඳහන් කළ එම කොමිසමේ නිලධාරීන් රුපියල් ලක්ෂ සීයක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුකු මේ වන විට මියගොස් ඇති බවත් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුක වශයෙන් ආර්. දුමින්ද සිල්වා නම් කර ඉදිරි විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළා.

ඉන් අනතුරු සැකපිට අත් අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහේස්ත්‍රාත් වරයා නියෝග කළා.

නීති විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයක් අනුව දෙමටගොඩ රුවන් යන අය නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී දෙමටගොඩ රුවන්ගේ පවු‍ලේ සාමාජිකයින් හා පුතා අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට සහ රුවන්ට ඇප ලබාදීම සඳහාත් රුවන්ගේ පුතා වන තරිඳු යන අයගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

තරිඳ නැමැත්තා ආර්. දුමින්ද සිල්වා හමුවූ අවස්ථාවක අද දින රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ සැකකාර ව්‍යාපාරිකයා හමුවන ලෙස ඔහු විසින් උපදෙස් දී ඇති බවත් එසේ හමුවීමෙන් පසුව අදාළ මුදල් ලබා දෙන ලෙසත් සඳහන් කර ඇතැයි පැවසූ අල්ලස් කොමිසම ඒ අනුව මෙම පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස ආර් දුමින්ද සිල්වා නම් කරන බවත් සඳහන් කළා.

මෙහිදී සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරු විසින් මුදල් ලබා ගැනීමට එරෙහිව කළ පැමිණිල්ල පසුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ ඇයි දැයි විමසූවා.

ඊට එය පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම සඳහන් කළේ පැමිණිලිකරුට ඇති තර්ජන හේතුවෙන් අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.