එළඹෙන අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව හැකිතාක් කල්වෙලා ඇතිව මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණ ප්‍රවාහන සේවා සලසා ගන්නා ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම කොමිෂන් සභාව පැවසුවේ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයෙන් මේ වනවිට අතිරේක බස්රථ සේවා යොදවා ඇති බවයි.

එළැඹෙන 13වනදා දක්වා සෑම දිනකම අලුයම 5 සිට රාත්‍රී 10 දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම මාකුඹුර පර්යන්තයට පැමිණීමට පෙර 011 2 034 474 යන දුරකථන අංකයට අමතා බස් ධාවන කාලසටහන දැනගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.

කෙසේ වෙතත් රාත්‍රී කාලයේදී බස් ධාවන කටයුතු සිදුවන්නේ කොළඹින් පිටත් වූ බස් රථ නැවත පැමිණීමෙන් පසුව බැවින් යම් ප්‍රමාදයන් ඇති විය හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

එබැවින් මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් කල්වෙලා ඇතිව මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙස ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟීන්ගෙන් ඉල්ලා සිටිනවා.