අද දිනයේ සිට අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අවුරුදු සමය වෙනුවෙන් යොදවන විශේෂ බස් රථ සඳහා බස් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කරන බවයි.

දුර ගමන් සේවා බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන අතර ග්‍රාමීය මට්ටමෙන් මෙම අතිරේක බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බවද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

මෙලෙස අතිරේකව යොදවන බස් රථ සඳහා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කිරීමට අවසර දී තිබේද? එසේ නම් ඊට හේතුව කුමක්ද? ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතාගෙන් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කරුණු විමසුවා.

ඔහු කියාසිටියේ මගී අවශ්‍යතාව අනුව යෙදවෙන අතිරේක බස් රථ ගමනාන්තය දක්වා ධාවනය කිරීමෙන් පසු නැවත පැමිණීමේදී මගීන් නොමැතිව පැමිණීමට සිදුවන බැවින් එම අතිරේක බස් රථවලට පමණක් සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක මුදලක් අය කිරීමට අවසර ලබාදී ඇති බවයි.

කෙසේවෙතත් සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කෙරෙන බස් රථවලට එලෙස වැඩිපුර ගාස්තු අය කිරීමට අවසර ලබාදී නොමැති බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා වැඩිදුරටත් පැවසුවා.