දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා නිසා පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ හෙටින් ඇරඹෙනවා.

අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

දස වන පාර්ලිමේන්තුවේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළහි වත්මන් තත්ත්වය සහ යළි පදිංචි කිරීමේ සහ වගා හානි සඳහා වන්දි ලබා දීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

නිවැරදි දත්ත රැස් කර ගනිමින්, සත්‍ය සංඛ්‍යා ලේඛන මත පදනම්ව අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන ලබා දීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුව තිබෙනවා.

මේ අතර දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් වූ නිවාසවලට වන්දි ගෙවීමට අදාල මාර්ගෝපදේශ මාලාවක් ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ පිළිබද තොරතුරු දහවල් 12 නෙත් නිවුස් දවස මැද වාර්තාකරණයෙන් බලාපොරොත්තු වන්න.