දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා හේතුවෙන් පූර්ණ වගා හානි සිදුවූ හෙක්ටයාර 53,000ක පමණ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 33,000ක පමණ ප්‍රමාණයක් මේ වන විට නැවත වගා කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

පැවති ආපදා තත්ත්වයන්ගෙන් පසු ගොවිබිම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

පසුගිය වසරට සාපේක්‍ෂව මෙවර මහ කන්නයේදී වැඩි ගොවිබිම් ප්‍රමාණයක් වගා කිරිමට සැලසුම් කර තිබූ බැවින් ආපදා හේතුවෙන් යම් ගොවිබිම් ප්‍රමාණයකට හානි සිදු වුවද ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇතිවීමට එම බලනොපාන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ආපදා හේතුවෙන් එළවලු වගාබිම්වලට සිදුවූ හානියේ බලපෑම අවම කර ගැනීම සඳහාද වැඩපිළිවෙළක් සකසා ඇති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.