ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ ක්ෂණික ක්ෂේත්රගත රෝහල් පද්ධති දෙකක්, ඒවාට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ එම රෝහල් වල වැඩකටයුතු පුහුණු කිරීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් ද රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.
එම රෝහල් පද්ධති, ඖෂධ සහ වෛද්‍ය උපකරණ සියල්ලම ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා වීම විශේෂත්වයක්.
මෙම ක්ෂණික ක්ෂේත්රගත රෝහල් පද්ධති තුළ ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, එක්ස් කිරණ පහසුකම් වැනි රෝහලකට අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විත වනවා.
මෙම රෝහල්වල වැඩකටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබද මෙරට වෛද්‍යවරුන්ට අවශ්‍ය පුහුණව ලබා දීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
ඔවුන් එම පුහුණුව කෙටි කළක් තුළ ලබා දීමෙන් අනතුරුව ඒවායේ වැඩකටයුතු මෙරට වෛද්‍යවරුන් වෙත භාර දී යළිත් මෙරටින් පිටව යාමට නියමිතව තිබෙනවා.
මෙම රෝහල් පද්ධති රැගත් ඉන්දීය ගුවන් හමුදාවට සී 130 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ රාත්‍රී 08ට පමණ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
මෙම ගුවන් යානයෙන් පැමිණි පිරිස පිළිගැනීම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවා.





