උතුරු ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයක් අතරතුර ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා තිබෙනවා.
එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ කඩවත ප්‍රදේශයේ 43 හැවිරිදි කාන්තාවක් එලෙස තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බැවින් වෛද්‍යවරුන් විසින් යළි ඇය පදිංචි ස්ථානය වෙත යොමුකර තිබෙනවා.
කෙසේවෙතත් එම නිවසට ප්‍රහාරවලින් හානි සිදුව ඇති බැවින් ඇය වෙනත් ස්ථානයකට පදිංචියට ගොස් ඇති බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවා.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තුවාල සිදුව නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ මහත්මිය තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් මීට පෙර වාර්තා වුණේ ඉකුත් 01වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයයෙකුද සිටින බවටයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ සිය රට වෙත එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි.
මේ අතර මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ ඔවුන්ට පහසුකම් ලබාදීම වෙනුවෙන් ලක් රජය විශේෂ මැදිහත්වීමක් සිදුකරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
මේ අතර ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු තවදුරටත් මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වී තිබෙනවා.
ඒ අනුව ඊශ්‍රායලයෙන් ඉරානයේ තෝරාගත් ස්ථාන ගණනාවකට සහ ලෙබනනයේ දකුණු කලාපයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වෙමින් පවතින බවද සදහන්.
මේ අතර ටෙහෙරානයේ න්‍යෂ්ටික, මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරානයේ ගැටුම තවත් සති හතරක් හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කළද එක්සත් ජනපදයට ඊට වඩා බොහෝ දුරයාමට හැකියාව ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ.




