ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින එහි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනවාද? නැද්ද යන නියෝගය අප්‍රේල් මස 02 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ සාක්ෂි සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
මෙම වරෙන්තු ඉල්ලීමට අදාළව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරී දිලුම් ලුශාන්ත ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.
එම නිලධාරියා සාක්ෂි දෙමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව අන්තර්ජාතික වශයෙන් සිදු කළ විමර්ශන වලින් අනතුරුව මොවුන් සැකකරුවන් වශයෙන් හඳුනාගත් බවත් ඔවුන්ට ප්‍රකාශ ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීම් සිදු කළද ඔවුන් එම දැනුම්දීම් මගහැර තිබෙන බවත් පැවසුවා.
මෙම සිද්ධියේ සැකකරුවකු වන ශමීන්ද්‍ර රාජපක්ෂගේ පියා වන චමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් අතර සැකකාර චමින්ද්‍ර රාජපක්ෂ මේ වන විට කැලිෆෝනියාවේ සිටින බව ඔහු විසින් ප්‍රකාශ කළ බවත් සැකකරු විසින් භාවිත කරන වට්ස්ඇප් අංකයක්ද ඔහු විසින් ලබා දුන් බවත් සාක්ෂිකරු සඳහන් කළා.
නමුත් එම අංකයට ලබාගත් ඇමතුම් වලට ප්‍රතිචාර නොලැබෙන බවත් සාක්ෂිකරු කියා සිටියා.
මෙම නඩුකරයේ සැකකරු හා සැකකාරිය මේ වන විට විදේශගතව සිටින බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊට අදාළ වාර්තා එවා තිබෙන බවත් ඔහු සඳහන් කළා.
මෙහිදී සැකකාර ශමින්ද්‍ර රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉඳතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින සාක්ෂි දුන් අල්ලස් කොමිසමේ නිලධාරියා සිය සාක්ෂිය තුළින් සිය සේවා දායකයාට වරෙන්තුවක් ඉල්ලා නොසිටි බව ප්‍රකාශ කළා.
නිසි නීතිමය පටිපාටියට අනුව වරෙන්තුවක් අවශ්‍ය අවස්ථාවක ඒ බව සාක්ෂිකරු විසින් සාක්ෂි කූඩුවේ සිට ප්‍රකාශ කළ යුතු බවත් මෙම විමර්ශන නිලධාරියාගේ සාක්ෂියේ එවැන්නක් සඳහන් නොවූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
නිසි නීතිමය පටිපාටියට අනුව වරෙන්තුවක් ලබා ගැනීමට පෙර සැකකරු වෙත සිතාසි හෝ නොතීසි ලියාපදිංචි තැපෑලෙන් යවා ඊට අදාල දැන්වීම් ඇළවීම ආදිය සිදු කළ යුතු වූවත් අල්ලස් කොමිසම එම නීති පටිපාටිය අනුගමනය නොකොට සිය සේවා දායකයාට එරෙහිව සෘජුවම වරෙන්තුවක් ඉල්ලා සිටීම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කර සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කරනවාද? නැද්ද? යන නියෝගය අප්‍රේල් මස 02 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.




