මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂාවින් මහතා අවධාරණය කරනවා.
මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීයි.
උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහිදී සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී බලශක්ති ක්ෂේත්රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේදී හිමි වූ උණුසුම් පිළිගැනීම මෙහිදී කෘතවේදීව අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේදී තවදුරටත් තහවුරු වනු ඇති බවටද විශ්වාසය පළ කළා.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතීතයේදී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බව මෙහිදී සඳහන් කළා.
මෑතකාලයේදීද, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර රුසියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා උදා කර දෙමින් ලබා දෙන සහායත්, දෙරට අතර පවතින සමාජ සංස්කෘතික සබඳතාව මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී ශ්‍රී ලංකාවට රුසියාව ලබා දෙන සහාය කෘතවේදීව සිහිපත් කළා.
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා හේතුවනු ඇති බවටද විශ්වාසය කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.




