කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් කැදවා තිබෙනවා.

ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබුණා.

මෙහිදී මෙම සිද්ධියට අදාළව සාක්ෂි ලබා ගැනීම ද සිදුව තිබෙනවා.

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මෙලෙස රැස්වුණේ තෙවැනි දිනටයි.

මෙම විශේෂ කාරක සභාව පත් කලේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ඒ අනුව වෙනත් සාමාජිකයෙක් ඉදිරියේදී ඒ සඳහා පත්කරනු ඇති බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී දැනුම් දී තිබෙනවා.