කළුතර නාගොඩ රෝහලේ 14 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්‍ෂණයක ්ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අද පෙරවරු 06 : 05ට පමණ ඔහු එලෙස වෙඩි ප්‍රහාරයට ලක් ව තුවාල ලබා ඇති බවයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස එම රැඳවියා වෙඩි ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙනුයි පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ 14 වාට්ටුවේ පාදයට ද මාංචු යොදා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් රොවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර රෝහලේ තාප්පයට උඩින් පැන පලාගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් ”රජවත්තේ චතුවා” නැමැත්තා බවට වාර්තා පළ වනවා.

ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු බන්ධනාගාරගතව සිටියදී ඉකුත් 29 දා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.