කාර්යාල පරීශ්‍ර තුළ මුඛ ආවරණ පැළදීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඒ, “මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කිරීම” යන ශීර්ෂය යටතේ බස්නාහිර පළාත් පාලන අංශයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ගේ අත්සනින් බස්නාහිර පළාත් සභාවේ සියලුම ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

අදාළ ලිපිය මගින් දන්වා තිබුණේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට අනතුරු අඟවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන්හි කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස සියලුම කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙසයි.

කෙසේවෙතත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ අදාළ ලිපියේ නිකුත් කරන ලද උපදෙස් නැවත සලකා බලා කටයුතු කරන ලෙසයි.

එමෙන්ම කාර්යාල තුළ මුඛ ආවරණ පැළදීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ ලිපිය මගින් වැඩිදුරටත් කරුණු දක්වා තිබුණේ මෙසේයි.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් පෞද්ගලිකව තමාගේ ආරක්ෂාව මෙන්ම අන් අයට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම වැදගත් වන බවයි.

ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් ඇතුළු විශේෂිත කණ්ඩායම් මේ දිනවල වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.

රට තුළට ඇතුළු වී ඇති නව කොවිඩ් ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිරන්තර සාකච්ඡාවක නිරත වන බවට ද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.