අද දිනයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යා නදීක රණවීර මහත්මිය පැවසුවේ පස්වරු එකෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද ඇය කරුණු දැක්වූවා.

මේ අතර නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පෙරවරු 08.00 දක්වා යාවත්කාලීන කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි ජනතාව තවදුරටත් අවධානයෙන් සිටිය යුතු වනවා.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරක්කෙත සහ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසට නිකුත් කළ නිවේදනය කෙරෙහි අවධානය යොමු කරන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙනු ලබනවා.