මහියංගණය - ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ තුනේ කණුව ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගිරාඳුරුකෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ට්රැක්ටර් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් ට්රැක්ටර් රථයේ රියදුරා, කැබ් රථයේ රියදුරා හා එහි පසුපස ගමන්ගත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහියංගණය ප්රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක්.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර බිබිල - මහියංගනය මාර්ගයේ අරංගලවත්ත ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ කඳුරුවෙල සිට මාතර දක්වා ධාවනය වූ මෝටර් රථයක රියැදුරාට නින්දයාම හේතුවෙන් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබූ ත්රීරෝද රථයක හා වෙළඳසැලකද ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු බිබිල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සිදුකළ මෝටර් රථ රියදුරු බිබිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර පොල්ගහවෙල, වැලිකඩහේන අතුරු මාර්ගයේ සිදුවූ අනතුරකින් ත්රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත් ඇති බව පොලීසිය පවසනවා.
අධික වේගයෙන් ධාවනය වූ එම ත්රීරෝද රථය පෙරළීයාමෙන් එම රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොල්ගහවෙල පොලීසිය පැවසුවේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගහවෙල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
කටුගස්තොට - පුත්තලම මාර්ගයේ නිකවැරටිය පොලිස් වසමේදී තවත් රිය අනතුරක් සිදුව තිබෙනවා.
කුරුණෑගල දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටීම වැළැක්විමට උත්සාහ කිරීමේදී ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ලොරි රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි නිකවැරටිය පොලීසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ පදිකයා, ත්රීරෝද රථ රියදුරා සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ප්රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොන්නෑකුලම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




